පොඩි ස්ථාවරත්වයක්

ඵලදායී සතියක්!

මල්ලී පසුගිය සති අන්තයේ ගෙදර ආවේ පවුලේ අය බලනවටත් වැඩිය මගෙන් විස්කි ඉල්ලගෙන යන්න කියලා හිතිලා මට හිනා ගියා. මට තේරෙනවා විස්කි වගේ බීම ලංකාවේ සොයාගන්නත් අමාරුයි කියලා. මල්ලිටයි මල්ලිගෙ යාළුවන්ටයි රට බීම වටිනවා - මට වටින්නේ අරක්කු. මොන හේතුව නිසා ගෙදර ආවත් මල්ලී නැති පාළුව දැනෙනවා. මල්ලී ඕනම දෙයක් කියන්නේ කරන්නේ හිනා මුහුණින් - මං වගේ නෙවෙයි. මිනිහා යාළුවොත් එක්ක ඉතා ජනප්රිය බව මට රහසක් නෙවෙයි.

අනික් අතට නංගී ගැන මම වැඩිය දන්නෙ නෑ. නංගිගෙ යාළුවන්ගෙන් මම දන්නේ දැනට ගමේ පෙර පාසැලක් බාරව ඉන්න ජීවනී පමණයි. එයාගෙත් මුහුණ මට මතක නෑ. හිතලා බලනකොට මම මල්ලිගෙ කටුබැද්දේ යාළුවෝ කිසි කෙනෙක් දන්නෙත් නෑ. සමහරවිට මම මගෙ පවුලේ අයවත් හොඳින් දන්නෙ නැතුව ඇති! ඊලඟ සති කීපයේ නැවතත් අම්මා, නංගී, මල්ලී හඳුනා ගැනීමට යොදාගන්න මම තීරණය කරගත්තා. ඒ රස්සාව ඉඩ දුන්නොත්.

මම පවුලේ අය ගැන අළුතෙන් හිතන්නේ එන සතියේ නැවතත් රස්සාවක් පටන්ගන්න නිසා වෙන්න ඇති. මගෙ ලොක්කා, ආචාර්ය ජයරත්න, මම ඉස්සර ඉඳන් හඳුනනවා. එක ආයතනයක් වැඩ නොකළත් එකට සරසවියට ඇතුල්වී එකම ක්ෂේත්රයේ වැඩ කරන නිසා අපි අවුරුද්දකට කීප සැරයක් හමුවුනා. මම පිටරට ඉන්න කාලේ තමාගේ අළුත් කොම්පැනිය දියත් කළ ජයේ ඒ දවස්වලමයි මට කොම්පැනියට සම්බන්ධ වෙන්න ආරාධනා කළේ. ඒ ආරාධනය අපේ මිත්රත්වයට වඩා නිපුණතා ගැලපීම නිසා සිද්ධවූවක් බව මට විශ්වාසයි. මගෙ තනතුරට ‘තාක්ෂණ අධ්යක්ෂ’ යන ගාම්භීර නම දුන්නේ ජයේ. ආන්ඩුවේ මෙන්ම පෞද්ගලික සංවිධාන සමග ඉහල පෙලේ සාකච්ඡා පැවැත්වීමේ පටන් කන්තෝරුවේ තේ පිලියෙල කිරීම දක්වා ඇති සෑම රාජකාරියක්ම ජයේටත් මටත් බාරවුනා. අපිට ලැබුන එකම උදව්ව ආවේ අඩකාල ලිපිකාර ලෙස ක්රියා කළ ජයේගෙ බිරිඳ ලක්මිණී ගෙනුයි.

ලංකාවේ ප්රසිද්ධ භූතාක්ෂනික ඉන්ජිනේරුවෙක් හැටියට ආචාර්ය ජයරත්න ආන්ඩුවේ ආයතන මෙන්ම පුද්ගලික සමාගම් වලත් ව්යාපෘති කිහිපයකට උපදෙස් දුන්නා. මේවායෙන් ඉතා හොඳ ආදායමක් ලැබුවත් විශාල කන්තෝරුවක් කුලියට ගැනීමටවත් ලොකු කාර්ය මණ්ඩලයක් තෝරා පත්කරගන්නවත් එයා පෙළඹුනේ නෑ. කොම්පැනිය දිව්වේ ජයේගෙ ගෙදර. ඉස්සරහ කාමර දෙකක්, වැසිකිලියක්, කුඩා කුස්සියක් මහ ගෙදරින් සම්පූර්ණෙන් වෙන් කරලා ‘කන්තෝරුව’ හැටියට පාවිච්චි වුනා. ගෙදර ඉස්සරහ මිදුලේ ජම්බු ගහ යට බංකුවක වාඩි වෙලා ජයා මම කොම්පැනිය ගැන කියාදුන්නේ. ඒ ජම්බු ගහත් ‘කන්තෝරුවේ’ කොටසක් කියලා මට හිතුනා.

“අපි වැඩියම පාවිච්චි කරන්නේ අපෙ මොලේ. ඒක ලොකු ඔෆිස් නැතත් වැඩ කරනවා. සිතියම් අඳින්න එහෙම ඒ වෙලාවට ඕන හැටියට කවුරුත් ගන්නවා කොන්තරක්කුවට. රිපෝට් එහෙම ලියන්නේ අපිමයි. ඒවා ටයිප් කරන්නේ ලක්මිණි…. මම කවදාවත් ක්ලයන්ට් කෙනෙක් ගෙදර ගෙනෙන්නෙ නෑ - මේක අපේ තැන. කන්තෝරු කෑල්ල වෙනම තිබුනත් මං කැමති නෑ ආන්ඩුවෙයි කොම්පැනි වලයි ලොක්කෝ… නැත්නම් ලොක්කෝ කියලා හිතන එවුන්… මෙහෙ එනවට”

“එතකොට මම?”

“ලලිත් ලොක්කෙක් නෙවෙයි! අනික අපි දෙන්නට වැඩ කරන්න මේ කන්තෝරුව ඇති… මම කියලා තියෙනවා නේද කොම්පැනිය දුවන හැටි? මට පුළුවන් ලලිත්ට පේරාදෙනියේ ලෙක්චරර් රේට් එකට පඩියක් දෙන්න… ඒ කොන්සල්ටිං වැඩ ලැබුනත් නැතත්… එන කොන්සල්ටිං ආදායමෙන් වලින් සියයට ගණනක් ඒකට අමතරව… නමුත් මතක තියාගන්න වටිනවා කොන්තරක් නැත්නම් ලැබෙන මාසේ පඩිය අවුරුද්දක් විතර ගෙවන්න පුළුවන් - ඉන් එහාට අපි සේරටම වෙන අතක් බලාගන්න වෙනවා… මෙහෙ පෙන්ශන් නෑ - වැඩ නැත්නම් කඩේ වහන්න වෙනවා… තවත් එකක්… කොම්පැනිය මගෙ - යම් විදිහකට ලලිත් කොම්පැනියේ නමට හානියක් වෙන විදිහට යමක් කරොත්… ඒක කරන්නේ එක සැරයයි!”

කොම්පැනිය පටන්ගත්තට පස්සේ වෙන්න ඇති ජයේ බොරු ප්රශංසාවල මෝඩ කම් ඉගෙනගෙන තියෙන්නේ. ඉස්සර නම් කියන්නේ “මං දන්නවා උඹ වැරදි දෙයක් නොකරන බව” වගෙ දෙයක්. මේ අළුත් ජයේ පරණ ජයේට වැඩිය දසගුනයක් විශ්වසනීයයි කියලා මට හිතුනා. එයා ආයෙත් කතා කරන්න පටන්ගත්තා.

“අපිට ඇති වෙන්න වැඩ තියෙනවා… අඩුවෙන පාටක් නෑ… නමුත් පාට්නර් කෙනෙක් ගන්න මගෙ තවම අදහසක් නෑ. හැබැයි මම කැමතියි ඉඳලා හිටලා සතියක් දෙකක් නිවාඩු ගන්න, කඩේ උඹට බාරදීලා… කොම්පැනිය පටන්ගෙන අවුරුදු තුනයි - තවම දවස් දෙකකට වැඩිය එක දිගට වැඩ නොකර හිටියෙ නෑ…. පළවෙනි අවුරුදු දෙකේ සෙනසුරාදා ඉරිදා එහෙමත් වැඩ!”

ජයේ හිනාවුනා.

“පරණ හෑලි ඒ ඇති. ගිහින් ලක්මිණිත් හම්බවෙලා තේ එකක් බොමු. ගෙදර ගිහින් හිතලා බලපන් ඔෆර් එක ගැන. ප්රශ්න තියෙනවානම් වරෙන් … නැත්නම් ටෙලිෆෝන් කරපං… හෝප් යූ කැන් ජොයින් අස්”

කුන්ඩසාලේ රස්සාවට ගමේ ඉඳන් ගියොත් ගමනට විතරක් දවසට පැය දෙකක් යනවා. මේක වැඩි කාලයක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ මාතෘකාව මම අම්මයි නංගියි එක්ක සාකච්ඡා කළා.

“ඉතින් ලොක්කා ඔය රස්සාව හොඳද? මං කියන්නේ, රස්සාව ස්ථිර නෑ, විශ්රාම වැටුප් නෑ, අවුරුද්දකට පස්සේ තියෙයිද නැද්ද දන්නෙ නෑ…”

“මං හිතන්නේ අම්මා අනාගතේට මේක ආන්ඩුවේ රස්සාවකට වඩා හොඳයි. ඒ කියන්නේ ජයේගෙ කොම්පැනිය නග්ගලා ගත්තොත් ඒක ලොකු වෙනවා මිස පොඩි වෙන්නෙ නෑ. දැන් ඉස්සර වගේ නෙවෙයි, ප්ලෑන් කරන හැම පාරක්, වේල්ලක්, ලොකු බිල්ඩිමක් … ඕනම ලොකු එන්ජිනියරිං වැඩකට භූ තාක්ෂණ රිප්පොට් ඕනෑ. ඩොක්ට ජයරත්න ඒ අතින් ලංකාවේ ඉන්න හොඳම ඉන්ජිනේරුවෙක්. ඔය කොම්පැනිය පටන්ගන්න දවස්වලමයි මිනිහා මට කතා කරේ. අපි දෙන්නා එකට වැඩ කරොත් තනි තනියෙන් කරනවට වඩා ගොඩාක් කරන්න පුළුවන්… සමහරවිට මට කොම්පැනියේ පාට්නර් කෙනෙක් වෙන්නත් පුළුවන් වෙයි…”

“පුතා කියනවානම්…”

“වැඩේ මේකයි අම්මා… ජයේගෙ කුන්ඩසාලේ ගෙදරමයි ඔෆිස් එක. මම ගෙදර ඉඳන් යනවානම් දවසට පැය දෙකක් නැතිවෙලා යනවා ගමනටම… ඒකයි මම් කල්පනා කරේ”

“අයියා නුවර… කුන්ඩසාලේ පදිංචියට යන්ටද?”

“දන්නෙ නෑ නංගී… ආයෙත් අම්මයි ඔයයි තනියම…”

අම්මා කතා කරේ සැර හෙදියක් වගේ.

“දුවටයි මටයි පුරුදුයි… ඒ ගැන වැඩිය හිතන්ට ඕන නෑ. මං දන්නවා උදේ හවස බස් ගමන ගැන!”

“ඉතින් අම්මා ඔච්චර කල් බස් එකේ ගියානම් මට බැරිවෙයිද?”

“ලොක්කා රස්සාව පටන්ගන්න දවස් - මං වගේ නෙවෙයි. අනික, සෙනසුරාදා ඉරිදට එන්ට පුළුවන් නම් පහුගිය අවුරුදු හතරට වඩා කොච්චර හොඳද?” ………………………

ඵලදායී සතියක්!

දුම්රියපොලේ වැඩ කරන ගමන් මට පුළුවන්වුනා මගෙ පරණ ‘යාළුවෝ’ කීප දෙනෙක් ගැන විමසා බලන්න.

මගේ ‘මිත්ර’ පීටර් මැක්ක්වොරි වීදියේ ගෙදර නැති බව මම දන්නවා, ඒ දැනගත්තේ ලංකාව නැතිවුන දවසේමයි. පීටර් විතරක් නෙවෙයි ගෙදර පිටිපස තිබුන අඹ ගහත් නෑ. මිත්රයෝ සොයා ගැනීම මම පටන්ගත්තේ මා ඉගෙනගත් සරසවි භූ විද්යා දෙපාර්තමේන්තුවෙන්. කෙලින්ම දෙපාර්තමේන්තු කාර්යාලයට නොයා මම බිත්තිවල එල්ලා තිබුන පින්තූර පරීක්ෂා කර බැලුවා. 1977 පින්තූර තවම නැති නිසා මම පසුගිය අවුරුද්දේ පින්තූරවල හඳුනන මුහුණු හෙව්වා.

පින්තූරවල යටින් තිබුන නම් ලැයිස්තු එකකවත් පීටර් ග්රීන් කෙනෙක් හිටියෙ නෑ. මගෙ හොඳම යාළුවා භූ විද්යාව හදාරලා නෑ.

කිට්ටුවෙන් ආශ්රය කළ අයගෙන් දෙතුන් දෙනෙක්ගෙ නම් තිබුනා. මට වඩාම සතුටක් දැනුනේ ‘එල් මීගස්තැන්න’ යන නම දැකීමෙන්. ඒ කියන්නේ මගෙ උපාදිය නැතිවෙලා නෑ. ඒ වගේම මට පුළුවන් කිසි පැකිලීමක් නැතුව කාර්යාලයෙන් ප්රශ්න අහන්න - මේ සරසවිය මටත් අයිතියි! මම යහළුවන්ගේ නම් කිහිපයක් ලියාගෙන කාර්යාලෙට ගියා.

“හායි… මම මගෙ භූ විද්යා යාළුවෝ කීප දෙනෙක් සොයනවා… බ්රිස්බන් වලින් යන්න ඉස්සර තව එක සැරයක්වත් හම්බවෙන්න කියලා”

කවුන්ටරේ කෙල්ල හිනාවුනා.

“පාටි දාන්න වගේ!”

“තීසිස් සබ්මිට් කරාට පස්සේ පාටි නොදා බෑ!”

“ඒක ඇත්ත! හැබැයි එක ප්රශ්නයක් තියෙනවා… අපිට බෑ කාගෙවත් පෞද්ගලික විස්තර වෙන් අයට දෙන්න… සොරි!”

මම ටිකක් කල්පනා කළා.

“මේ නම් ටික බලලා කියන්න පුළුවන්ද කවුද රිසර්ච් කරන්න නැවතිලා ඉන්නේ කියලා - දැන් ඉන්න අය?”

“හ්ම්… ඉන්න බලන්නම්…”

කෙල්ල විනාඩි පහක් විතර ඇතුලේ කාමරේට ගිහින් ලේඛන සෝදිසි කළා.

“මම යටින් ඉරි ගහපු තුන් දෙනා ඉන්නවා. ජෝන් මියුසියම් එකේ. අනික් දෙන්නා 203 කාමරේ”

මම එයාට ස්තුති කරලා පළවෙනියට භූ විද්යා කෞතිකාගාරයට ගියා. ජෝන් තමා පරීක්ෂා කරමින් සිටි පොසිලයෙන් ඇස් ඉවත්කර මා දෙස බැලුවේ හිනා මුහුණින්. එය මිතුරු හිනාවක් වත් නොහඳුනන්නෙකුට දෙන හිනාවක් වත් නෙවෙයි. මට දැනුනා ජෝන් මාව දන්න අතර ඒ කිට්ටු මිතුරෙක් හැටියට නොවෙයි කියලා.

“විශේෂ මොකවත්ද සොයන්නේ?”

මම කෙලින්ම මගෙ ප්රශ්නයට ගියා.

“ජෝන්… මම ඔයාව දන්නවා… මාව මතකද?”

මිනිහට ලජ්ජා හිතුනා.

“සොරි… මගෙ මතකේ හොඳටම දුර්වලයි… අපි එකට ලෙක්චර් ගියා නේද?”

“ඔවු… සොරි කියන්න ඕන නෑ… මම මේ ප්රශ්න අහන්නේ මගේ මතයක ලඟක ඉඳන් අබලන් වේගන යන බව දැනිලා… මට එක ප්රශ්නෙකට උත්තර දෙනවද?... ජෝන් දන්නවද මම ලෝකේ මොන රටෙන්ද ආවේ කියලා?”

“ඉන්දියාවේ! ඒක දන්නවා… ඇක්සන්ට් එකයි ක්රිකට් ගැසීමයි නිසා!”

අපි දෙන්නටම හිනා ගියා. මම ජෝන්ට ස්තුති කරලා කෞතුකාගාරෙන් පිටවුනා.

මම හමුවුන අනික් දෙන්නත් ඒ වගේමයි. මාව දැකලා තිබුනට වඩා කිසි දෙයක් දන්නෙ නෑ. මට වඩාමත් කනගාටු හිතුනේ ඒ දෙන්නගෙන් එකෙක් එක්ක තමා මම ඉස්සරවෙලාම බ්රිස්බන් පබ් එකකට ගියේ!

මම දවස් තුනක් වැඩට පස්සේ සරසවි භූ විද්යා දෙපාර්තමේන්තුවේ එහාට මෙහාට ඇවිද්දා. සිසුවෝ කීප දෙනෙක් මා සමග හිනාවුනත් එක් කෙනෙක්වත් කතා කරන්න පෙළඹුනේ නෑ.

අනික් අතට යාළුවෝ නැතත් මට උපාදියක් තියෙනවා. ටිකක් හොඳ රස්සාවක් ලබාගන්නත් ඒක ලොකු උදව්වක්.

සිකුරාදා සරසවියෙන් එලියට එනකොට හයට විතර ඇති. මම බිම බලාගෙන ඇවිද්දේ සරසවි ගමනෙන් ‘ආයෙ වැඩk වෙන්නෙ නෑ’ යයි සිතමින්. අපේ කිට්ටු කඩමන්ඩිය ලඟා වෙනකොට මට හිතුනා රෑ කෑමට යමක් ගන්න. නමුත් මට ඒක අමතක වුනේ පාරේ බස් නවත්වන තැන බංකුවේ වාඩිවී සිටියෙකුගෙ කටහඬකින්.

“බැල්ලිගෙ පුතාලා!”

මම වෙඩි වැදුනා වගේ නැවතුනා. බංකුවේ වාඩිවී හිටියේ වයසක මිනිහෙක්. නොපීරූ කොන්ඩෙයි රැවුලයි වගේම කලිසමෙන් එලියට ඇදී තිබුන කමිසෙත් නිසා මට පෙනුනේ ගෙයක් දොරක් නැති හිඟන්නෙක්. තමාටම එක එකදේ මතුරන පිස්සෙක්.

“මොනවද ඩෝ බලාගෙන ඉන්නේ?”

එතකොටයි මට හිතුනේ මම නැවතිලා මිනිහා දිහා බලාගෙන ඉන්න බව.

“සොරි අන්කල්… සිංහල කතාකරනවා ඇහිලා නැවතුනේ”

මනුස්සයා විදුලි වේගෙන් නැගිට්ටා.

“පුතා සිංහල? ලංකාවේ?”

“ඔවු අන්කල්… මම ලලිත්කුමාර මීගස්තැන්න…”

මිනිහා මගෙ අත තදින් අල්ලා ගත්තා. මුහුණේ පහලට බහින කඳුලු සඟවාගන්න කිසිම උත්සාහයක් ගත්තෙ නෑ.

“පුතා මා දාලා යන්න එපා … ප්ලීස්…”

“නෑ අන්කල්… අන්කල් කොහෙද ඉන්නේ?”

ඒ සැරේ සද්දෙට අඬනවා.

“පාරේ… ගස් යට…”

මම බැලුවා මගෙ පිස්සා දිහා. පිටකොටුවේ හිඟන්නෙකුගෙ මුහුණකවත් එහෙම බැගෑපත් කමක් මම දැකලා නෑ.

“යං අන්කල් අපෙ ගෙදර… යන ගමන් කෑම ටිකකුත් අරගෙන යමු”

මගේ අත අතෑරියෙ නෑ. හැඬීම් නැවතුනත් තවම කඳුලු ගැල්ම නැවතුනේ නෑ. කටින් පිටවුනේ එකම ලතෝනියයි.

“අනේ මාව දාලා යන්නනම් එපා…”